Thursday, April 11, 2013

සිසුන් මරුවන් කරන දෙහිවල පොලීසිය








                          

                       . ශ්‍රී ලංකා නීතිය සිවිල් හා අපරාධ නීතිය යනුවෙන් කොටස් දෙකකට බෙදෙයි.අපරාධ නීතිය වරදවල් සම්බන්ධයෙන් ක්‍රීයා කරන නීතිය යනුවෙන් අපට නිර්වචනය කළ හැකිය.මෙම ලිපිය නීතිය පිළිබදව හදුන්වා දෙන ලිපියක් නොවේ. නමුත් ඔබට කියන්නට යන කථාවේ ආරම්භයත් අවසානයත් බැදී ඇත්තේ ලංකාවේ අපරාධ නීතියත් ඒ යටතේ ලංකාවේ මිනිසුන්ගේ අපරාධ මැඩ පවත්වන පොලිස් නිලධාරීන් පිළිබදවත්ය.සිවිල් හා අපරාධ නීතිය යටතේ ලංකාවේ සාමය සුරකින පොලිස්සිය නීතිය අතට ගෙන තමන්ට උවමනා ආකාරයට ක්‍රීයා කළ සිද්ධි දහස් ගණනක් අපට අසන්නට දකින්නට ලැබේ. ඇමතිවරුන් හා බලය තිබෙන මිනිසුන්ගේ වැරදි රටට හෙළි කර ඒ පිළිබදව නීතීය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලිස්සියම ඇමතිවරුන් හා බලකාරයින්ගේ වැරදී සගවා ඔවුන්ට සැලියුට් ගසයි. අසරණ මහජනයාට නීතිය මගින් සාධාරණය ඉටු කර දෙන පොලිස්සියේ නිලධාරීන්ම අනෙක් පසින් මහජනයාගේ අසරණකම ස්වකීය ප්‍රයෝජනයට ගෙන ඔවුන් තව තවත් අසරණ කරයි. මෙය ශ්‍රී ලංකා පොලිස්සියේ එදා සිට අද දක්වා මේ රටේ සමාජයට පෙනුනු දෙබිඩි පිළිවෙතයි.පුද්ගලයින් සමග ඇති පුද්ගලික ගැටළු නිල ඇදුමේ බලය ප්‍රයෝජනයට ගෙන විසදගන්නා පොලිස් නිලධාරීන්ද බහුතරයක් සිටී. මේ කථා කරන්නට යන්නේ අනාගතය පිළිබදව දහසකුත් සිහින මවාගෙන සිටි අහිංසක පාසැල් සිසුවෙකුගේඒ සිහින සියල්ල සුනු විසුනු කර දැමීමට ලංකාවේ නීතිය සුරකින පොලිස් නිලධාරීන් පිරිසක් ක්‍රියා කිරීමක් ගැනය. මෙය සිදු වූයේ ජනවාරි මස 28 වන ඉරු දිනය.

මලිත් වි‍ජේරත්න පානදුර රාජකීය විද්‍යාලයට ඇතුලු වන්නේ උසස් පෙළ කිරීම සදහායි.ඔහු තෝරා ගන්නේ ජීව විද්‍යා අංශයයි. ඒ ඔහුට වෛද්‍යවරයෙකු වීමට ඇති සිහිනය නිසාය. අපරාධයක් කිසියම් ඉහළ තැනකින් පාසැල් ළමයෙකුට සිදු වූ විට බොහෝ මාධ්‍ය නිතැතින්ම ඒ සිසුවා දක්ෂතම හා අහිංසක සිසුවෙකු බවට නිර්මාණය කරයි. එහෙත් මේ ඒ කෝණයකින් ඔහුගේ දක්ෂතාවය මවා පෑමක් නොවේ. මෙම සිසුවා සැබවින්ම දක්ෂයෙකි. එකදු දිනයක් හෝ නොවරදවා පාසලට පැමිණයෙකි. එසේම ඔහු පාසලේ හවස අමතර පන්ති වලටද සහභාගී වූවෙකි.පාසලේ සැවොම එක හෙළා කියන්නේ ඔහු අති දක්ෂයෙකු බවයි. යහළුවෙකු මුණගැසීමට දෙහිවලට යනවා යැයි තම පියාට පවසා නිවසින් පිටත්ව ගිය මලිත් නතර වූයේ දෙහිවල පොලිස්ථානයේ අපරාධකරුවෙකු ලෙසිනි.

කථාව අප දැන සිටියේ පෙමණකි. කථාවේ ඉතිරි කොටස සොයා අප ගියේ පානදුර රාජකීය විද්‍යාලයටය. පානදුර රාජකීය විද්‍යාලය වසර 35 ක් පමණ පැරණි සහ ළමුන් 4000ක් පමණ ඉගෙනුම ලබන ඉගෙනුම හා ක්‍රීඩාවෙන් අති මහත් කීර්තියක් ලබා ගත් පාසලකි..

.අප රාජකීය විද්‍යාලයට ඇතුළු වීමට යාමේදී අප ඉදිරියට පැමිණියේ මව පියා සමග පාසල් නිල ඇදුම ඇදගත් සිසුවෙකි. අහිංසක පෙනුමකින් යුතු පාසල් සිසුවාව නතර කළ අප ඔහුගෙන් අසා සිටියේ පොලිස්සියෙන් අල්ලාගෙන ගොස් ප්‍රශ්නයක් වූ සිසුවෙකු පිළිබදව දන්නේද යනුවෙනි.ඔහුගේ දෙම්ව්පියන් අප පිළිබදව විමසිලිමත් වූ අතර පියා ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. මොන පත්තරේද? ඇයි මෙහෙම විස්තර හොයන්නේ? ඔයාලට ඒකෙන් වෙන වාසිය මොකක්ද?  යනුවෙන් ඔහු අප ප්‍රශ්න කළේය. ඔහු කවුදැයි විමසා සිටීමේදී අප විස්මයට පත් වූයේ අප ඉදිරියට පැමිණ ඇත්තේ මලිත් හා ඔහුගේ මව් පිය  දෙපළ යැයි දැනගත් නිසාය. පාරේ පසෙකට ගොස් ඔවුන් සමග කථා කිරීමට ගත් උත්සාහ ව්‍යාර්ත වූයේ නඩු කියා ඔවුන්ගේ දරුවා බේරා ගැනීමට ගත් නොමද උත්සාහය නිසා ඔවුන් මානසිකව මෙන්ම ශාරීරිකවද හෙම්බත් වී සිටි බැවිනි.
මේ නඩුවට අපිට ලක්ෂ හතරහා මාරක් වියදම් වුනා. අපිට මේ ගැන තව කථා කරන්න දෙයක් නෑ. පොලිස්සියේ ඕ අයි සී ට උසස් වීමක් අරගන්න අපේ ළමයා නොකළ වැරැද්දකට අල්ලගෙන නඩු දැම්මා. පොලිස්සියේ සතියක් තියා ගත්තා. අපිට කිසිම දෙයක් ගැන විශ්වාසයක් නෑ. අපිව මරලා දාන්නත් ඉඩ තියනවා. අපේ ජීවිත වලට තර්ජනයක්.
එසේ කියූ මලිත්ගේ පියා අප මගහැර පිටව ගියේය. ඉන් පසු අප රාජකීය විද්‍යාලයට ගියේ මෙම කථාවේ සත්‍ය අසත්‍යතාවය විමසා දැන ගැනීමටය. නියෝජ්‍ය විදුහල්පති තුමා ප්‍රථමයෙන් අපට හමු විය. ඔහු අපව යොමු කළේ මලිත්ගේ පන්තිභාර ගුරුතුමිය වෙතටය. ඇය නමින් ශ්‍රියානි ජයසිංහයි. ශ්‍රියානි ජයසිංහ ගුරුතුමිය මලිත්ගේ භෞතික විද්‍යා ගුරුවරිය හා පාසලේ හොකී ක්‍රීඩා භාරව සිටින්නියද වෙයි. ඇය අපට පැවසූ කථාව බෙහෙවින්ම සිත් කම්පාවට පත් කරවනා සුළුය.
මලිත් කියන්නේ හොදට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්.මේ සිද්ධිය වුනේ ජනවාරි මාසේ. ඉස්කෝළේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පටන් ගත්ත කාලේ. උසස් පෙළ කරන ගොඩක් ළමයි ඉස්කෝළේ ආවේ නෑ. ඒත් මලිත් එක දවසක් වරද්දන්නේ නැතුව ඉස්කෝළෙට ආවා. හැමදාම උදේට රෙජිස්ටරේ අරන් එන්නේ මලිත් තමයි.ළමයි ආවේ නැති දවසක පන්තියටම හිටිය එකම ළමයා මලිත්. එදා ම‍ගෙන් හරියටම පැය 4ක් එක දිගට භෞතික විද්‍යාව ඉගෙන ගත්තා. කොහොම හරි දවස් දෙකක් යනකල් මලිත් ඉස්කෝළේ ආවේ නෑ. හරියටම නිවාසාන්තර ක්‍රීඩා උළෙල පටන් ගන්න දවසේ පොලිස් ජීප් එකක් ඉස්කෝළේ ගේට්ටුව ළග නතර කරා. මම ඒ වේ‍ලාවේ තමයි ඉස්කෝළෙට ආවේ.මම එතන්ට ගියා. මං දැක්කා මලිත්ට මාංචු දාලා ළමයව ජීප් එක පිටිපස්සේ දාගෙන තවත් පොලිස්සියේ කට්ටික් එක්ක.මං ඇහුවා ඇයි කියලා. එතකොට මට කිව්වා මේ ළමයා හොරකං කරලා අහුවෙලා කියලා. මම ඒ කථාව කීයටවත් විශ්වාස කරේ නෑ. එතකොට කිව්වා ඉස්කෝළේ ළමයි දෙන්නෙක්ට හොරකං කරපු ෆෝන් දෙකක් ගෙනත් විකුණලා කියලා.ඒ ළමයින්වත් පොලිස්සියට අරන් යන්න ඕන කිව්වා.මං කිව්වා ඉස්කෝළේ ළමයින්ව එහෙම පොලිස්සියට ගෙනියන්න දෙන්න බෑ කියලා.කොහොම හරි ඒ ළමයි දෙන්නගෙන් අහද්දි ඒ ළමයි දෙන්නා කිව්වා පානදුරේට වඩා දෙහිවල හොද ෆෝන් කඩ තියන නිසා අපි සල්ලි දුන්නා මලිත්ට ෆෝන් දෙකක් ගෙනත් දෙන්න කියලා. ඒ කියන්නේ මලිත් ෆෝන් හොරකං කරා කියලා පොලිස්සියෙන් කිව්වේ බොරුවට.මම ඒ වෙලාවේ තමයි දන්නේ මලිත් දවස් දෙකක් ඉස්කෝළේ ආවේ නැත්තේ ඇයි කියලා.කොහොම හරි මං කිව්වා පොලිස්සියට ඉස්කෝ‍ළේ ඉස්සරහා ඉන්න එපා කරුණාකරලා යන්න අපිට බාධා කරන්න එපා කියලා. ඒත් ඒ අය ඇහුවේ නෑ. ඒ නිසා මං විදුහල්පතිතුමාට මේ ගැන කිව්වා. විදුහල්පති තුමා අන්තිමට පොලිස් නිලධාරීන්ට බැන්නා. ඊට පස්සේ තමයි එයාලා එතනින් ගියේ. මං තවත් ගුරුවරියක් එක්ක දෙහිවල පොලිස්සියට එවේලේම ගියා මේ විස්තරේ මොකක්ද කියලා දැනගන්න. එතකොට මලිත්ව කූඩුවට දාලා. පොලිස්සියෙන් කිව්වා මලිත් හොරකං කරනවා ගෙවල් වලට පනිනවා කියලා. මං කිව්වා මේ ළමයා හරිම දක්ෂ ළමයෙක් ඒ නිසා මේ ළමයාට අවවාද කරලා යන්න දෙන්න කියලා. ඒ වෙලාවේ පොලිස්සියෙන් මට පොරොන්දු වුනා එහෙම වැඩ කරනවා කියලා. ඒත් ඊළග දවසේ පත්තරේ තිබ්බා නිවුස් එකක් පානදුර සුපිරි පාසලක ළමයෙක්ව ආයුධ එක්ක අත්තඩංගුවට පත් වෙලා කියලා. ඒ පත්තරේ ෆොටෝ එකක් දාලා තිබ්බා‍ ආයුධ පුරවපු මේසයක් ළග හිටගෙන දෙහිවල පොලිස්සියේ අය ගත්ත ෆොටෝ එකක්. මම ඊළග දවසේ කාර් එක පිරෙන්න ඉස්කෝළේ ටීචර්ස්ලා දාගෙන පොලිස්සියට ගියා. අපිට ඉදගන්න කියලා පොලිස්සියෙන් මලිත් ගැන අහන් ඉන්න බැරි තරං අපරාධ කථා කිව්වා. මං ඇහුවා ආයුධ ගැන. එතකොට තමයි දන්නේ ඒ ආයුධ මලිත්ගේ ගෙදරින් හොයාගත්ත ප්ලාස්ටික් සෙල්ලම් ආයුධ කියලා.ඒක හරිම විහිළුවක්. ඊට පස්සේ මලිත්ගේ බෑග් එක ගෙනත් පෙන්නුවා. ඒකේ කොන්ඩම් පැකට් එකක් තිබුනා. ඒවා පොලිස්සියෙන් දාපු ඒවා. අපි ළග නැති පිහි මෙයා ලග තිබුනා කියලා පොලිස්සියෙන් කිව්වා.මේ ළමයාට විරුද්ධව චෝදනා ගොඩක් ගල්කිස්සේ පොලිස්සියෙත් කියනවා කිව්වා. මං කිව්වා මේ ළමයා අහිංසකයි. මේ වගේ බොරු චෝදනා දාන්න එපා කියලා.
 මිස් මෙයා දිහා බලන්නේ ළමයෙක් දිහා බලනවා වගේ. ඒත් අපි බලන්නේ අපරාධකාරයෙක් බලනවා වගේ කියලා පොලිස්සියෙන් ඒ වෙලාවේ මට කිව්වා.මලිත් හොරකං කරා කියලා එක එක බඩු ගෙනත් මේසෙන් තිබ්බා.එතන්ට කූඩුවේ හිටපු මලිත්වත් ගෙනාවා. මලිත්ට කිව්වා මේ වැරදි පිළිගන්න කියලා. මලිත් කිව්වා මම කරපු වැරද්දට අමතරව ඔයාලා කියන වැරදි පිළිගන්නේ නෑ කියලා. ඒ වෙලාවේ මලිත් මට අඩලා කිව්වා මාව බේරගන්න කියලා. මම පුළුවන් තරම් මලිත්ගේ නිවැරිදි කම කියන්න උත්සාහා ගත්තත් ඒක වැඩක් වුනේ නෑ.
මලිත්ට පොලිස්සියෙන් ගහලා තිබ්බා..
මලිත් පොලිස්සියට අභියෝග කරලා තියනවා “ මං හොදට ඉගෙන ගෙන ලොකු වෙලා නීතියෙන්ම ඔයාලාගෙන් පළි ගන්නවා කියලා”
අන්න ඒ අභියෝගෙටත් එක්ක මලිත්ට වද දෙන්නැති තවත්. කොහොම හරි සතියක් පොලිස්සියෙන් මලිත්ව කූඩුවේ තියාගෙන තමයි උසාවියට ඉදිරිපත් කරේ
ඒ රාජකීය විද්‍යාලයේ මලිත්ගේ පන්තිභාර ගුරුතුමිය වන ශ්‍රීයානි ජයසිංහගේ කථාවයි.

ඇයට සමු දුන් අප ඉන් පසු හමු වීමට උත්සාහ ගත්තේ මලිත් විජේරත්න සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජානක අමරසිංහ මහතායි. අලුත් කඩේ උසාවි සංකීර්ණයේදී අපට ඔහු හමු විය.ඔහු හා ගත කළ වේලාව තුළ මලිත් සිසුවා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම අපට හෙළිදරව් විය.
මේ ළමයා මලිත් විජේරත්න කියලා පානදුර රාජකීය විද්‍යාලේ ජීව විද්‍යා අංශයේ ළමයෙක්.දෙහිවල ගුවන් පාලම මතදී දෙහිවල පොලිස්සියේ රථ වාහන අඅංශයේ සේවයේ නිරත වී සිටි නිළධාරියෙක් 2013-1-28 මේ ළමයාව අත්තඩංගුවට අරන් තිබුනා. උසාවියට ඉදිරිපත් කරලා තිබුනු චෝදනාව වුනේ ජංගම දුරකථනය පිටුපස හෙරොයින් තිබුනාය කියලා.2013- 02-29 මේ ළමයාව උසාවියට ඉදිරිපත් කරලා තිබ්බා.මං ඔය නඩුවට පෙනී සිටියේ 2013-02-12 වෙනිදා ගල්කිස්සේ උසාවියට මලිත්ව ඉදිරිපත් කරපු අවසාථාවේ ඉදන්.නඩුවේ මුල් වතාවෙම අපි කියා සිටියා හෙරොයින් ජාවාරම් කරා කියලා කියන චෝදනාව අසත්‍යයක් කියලා.ජාවාරම් කරා කියන්න සල්ලි දුන්න කෙනෙක් හෝ අරගත්ත කෙනෙක් ගැන පොලිස්සිය සදහන් කරලා තිබ්බෙ නෑ.  අත්තඩංගුවට ගත්තා යැයි කියන කුඩු මිලි ග්‍රෑම් 550 උසාවියට ඉදිරිපත් කරන්න පොලිස්සිය ප්‍රමාද වුණා.2013-2-19 නැවතත් මේ නඩුව කැදවූ විට එදිනත් කුඩු උසාවියට ඉදිරිපත් කරේ නෑ. 19 වන දිනට පසු සත් දෙකක් ගත වුනාට පස්සේ නඩුව ආයෙමත් කැදෙව්වා.පොලිස්සිය මූලික සාක්ෂි දිවුරුම් ප්‍රකාශය උසාවියට ඉදිරිපත් කරේ නෑ. ළමයාගේ තාත්තා හරිම උනන්දුවෙන් අවශ්‍ය කරන නඩු වාර්තා සියල්ල අදාළ තැන් වලින් ලබා ගත්තා.අපි දිව්රුම් ප්‍රකාශයේ පිටපතක් පොලිස්සියෙන් ඉල්ලා සිටියම එය ලබා දීමේ ප්‍රමාදයක් තිබුනා.කෙසේ හෝ උත්සාහ කර එය ලබා ගැනීමෙන් පසුව මට පෙනී ගියා එය කාබන් පිටපතක් කියලා.ඒ වගේම එහි යම් යම් ස්ථාන වල අංක වෙනස් කර තිබ්බා.දිව්රුම් ප්‍රකාශයේ මලිත්ගේ නම සදහන් වෙලා තිබුනට කුඩු අල්ලාගත්ත ,වැටලීම් කළ හා අත්තඩංගුවට ගත් දිනය කියලා ස්ථාන 4කම සදහන් කරලා තිබ්බේ 2013- 1-19 වන දිනය.අධිකරණයට ඉදිරිපත් කරලා තිබුනු දිනය විදියට සදහන් වෙලා තිබුනේ 2013-01-20. ඒ දිව්රුම් ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් කියලා අපිට වැටහුනා.මාර්තු මස 19 වන දින අප ඉල්ලීමක් කරා මේක බොරු නඩුවක් කියලා.ප්‍රධාන උප පොලිස් පරීක්ෂක අජිත් ගුණවර්ධන විසින් ගොනු කරලා තිබ්බ දිව්රුම් ප්‍රකාශයේ හතර තැනකම දිනය වෙනස් කරලා තිබ්බත් ඒත් නඩුවේ මුල සිටම පොලිස්සිය වාර්තා කර සිටිය දිනය වුනේ 2013-1-28. මේ දිව්රුම් ප්‍රකාශය සත්‍යයක් නං පොලිස්සිය නීති විරෝධී විදියට මලිත් සිසුවාව රිමාන්ඩ් බාරයේ තබාගෙන ඉදලා. එහෙමත් නැත්තම් මේ දිව්රුම් ප්‍රකාශය කූට ලෙස පොලිස්සියෙන් හදපු එකක්. ඒ අනුව මේ නඩුව බොරු චෝදනාවක් සහිතව ගොනු කළ බොරු නඩුවක්.පොලිස්සිය විසින් ඉතා ද්වේශසහගත ලෙස හා කූට ලෙස වෙනත් පුද්ගලයෙකුට ගොනු කළ දිව්රුම් ප්‍රකාශයක නම වෙනස් කරලා මලිත් විජේරත්නව බොරු නඩුවක පටලවන්න උත්සාහ ගෙන තියෙනවා.නීතීඥ කුමුදු කලංසූරිය මිය,නීතීඥ ගයා සිරිවර්ධන මිය සමග නීතීඥ මිහාර රන්දෙනිය මහතා මලිත් විජේවර්ධන නිදොස් කරගන්න මේ නඩුවට මට සහය වුණා.මට මලිත්ගේ පියාගෙන් දැනගන්න ලැබුනු විස්තරය තමයි දෙහිවල ගුවන් පාලම මත මලිත් සහ තවත් ළමයෙකු අත්තඩංගුවට ගෙන තියනවා. අනිත් ළමයා ලැප්ටොප් එකක් හෝ පරිඝනක උපාංගයක් හොරකම් කරලා තියනවා. දෙදෙනාම අත්තඩංගුවට අරගෙන පොලිස් ප්‍රධානියා වෙතට ගෙන ගියාම පොලිස් ප්‍රධානියා මලිත්ට බැන වැදීමක් හා පහර දීමක් සිදු කරලා තියනවා. ඒ අවස්ථාවේදී මලිත් පොලිස් ප්‍රධානියාට කියලා තියනවා මං උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයේ ගිහින් ඔය මහත්තයට වඩා ලොක්කෙක් වෙලා ඇවිත් ඔය මහත්තනයාගෙන් පළි ගන්නවා කියලා. මෙන්න මේ ප්‍රකාශය තමයි මලිත්ගෙන් පළිගැනීමක් දක්වා ගිහින් තියෙන්නේ.
                            මෙවර උසස් පෙළ සදහා සූදානම් වෙමින් සිටි මලිත්ට වැලිකඩ බන්ධනාගාර ගත වන්නට වූනේ කුඩු මිලි ග්‍රෑම් 550ක් ළග තබා ගත්තා යැයි පොලිස්සියෙන් ගොනු කළ නොකළ වරදකටය. ඔහුට පොලිස්සියෙන් දුන් වද වේදනා දරාගත්තේද නොකළ වරදකටය. සමාජයේ විශාල ප්‍රමාණයෙන් හෙරොයින් සහ මත් පෙති ගෙන්වනා සහ විකුණනා බලවතුන් සහ බලවතුන්ගේ පුත්තු නිදැල්ලේ හැසිරෙද්දී පොලිස් දැලට හසු වීමට සිදු වූයේ මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට උගත් දක්ශ සිසුවෙකි. පාසල් සිසුවෙකුගෙන් මෙසේ දරුණු ලෙස පොලිස්සිය පළිගත පළමුවන සිදුවීම ලෙසින් මෙම සිදුවීම ඉතිහාස ගත වනු ඇත.
 මලිත් විජේවර්ධන සිසුවාට දෙහිවල ප්‍රධාන උප පොලිස් පරීක්ෂක අජිත් ගුණවර්ධන ඇතුළු නිළධාරීන්ගෙන් සිදු වූ මේ අපහරණය මලිත් සිසුවාට පමණක් සිදු වූවක් නොව. නීතිය අතට ගෙන හැසිරෙන නිල ඇදුම් දා ගත් නූගතුන් පිරිසක් විසින් කළ සමාජයම අපහරණයකි. පාසල් සිසුවෙකුට මෙවන් ඉරණමක් ළගා කර දෙන්නට තරම් නිල ඇදුම් දා ගත් මේ නිලධාරී පිරිස ම්ලේච්ච විය.
අවසානයේ මලිත් විජේවර්ධනගේ පියාව අපට සම්බන්ධ කර ගැනීමට හැකි විය.මෙම සිද්ධියෙන් ඔවුන් පත් වූ අසරණභාවය පිළිබදව ඔහු කියා සිටියේය.
මේ ළමයා අපිට ඉන්න එකම ළමයා. මේ දරුවාට පොඩි කාලේ ඉදන් හොදට ඉගැන්නුවා. ඉරිදා දවසේ ළමයා යාළුවෙක් හම්බෙන්න දෙහිවලට යනවා කිව්වා. මං කිව්වා ගිහින් කලින් එන්න කියලා මගේ බිරිදගේ ජංගම දුරකථනය දරුවට දුන්නා. මෙයා හවස් වෙනකල්ම ගෙදර ආවේ නෑ. අන්තිමට මං ෆෝන් එකට කථා කරාම ඒකට ආන්සර් කරේ පුතා වෙනුවට දෙහිවල පොලිස්සිය. අපිට කිව්වා පුතා හොරකමකට අහු වෙලා කියලා. කලබල වෙන්න එපා කියලත් කිව්වා. අපි එවෙලෙම ලෑස්ති වෙලා පොලිස්සියට ගියා. පොලිස්සියට ගිහින් හැම තැනම හෙව්වම පුතාව හම්බුනේ නෑ. අන්තිමට ට්‍රැෆික් පොලිස් අංශෙට ගිහින් බැලුවහම ළමයා එතන ඕ. අයි. සී ළග  මේසේ ළග ඉදගෙන හිටියා. මං ඇහුවා මොකක්ද මගේ ළමයා කරපු වැරැද්ද කියලා. හොරකං කරා කියලා කිව්වා. තව කිව්වා විමර්ශනය කරන්න තියනවා කියලා. අපිට ගෙදර යන්න කිව්වා. කොහෙම හරි අපිට ළමයව උසාවියට ඉදිරිපත් කරනවා කියලාවත් කිව්වේ නෑ. අපි දන්න නීතීඥ මහත්තයෙක් හම්බුනා. ඒයා අපෙන් සල්ලිත් අරන් පස්සේ නඩුවට මූණ දුන්නේ නෑ. පුතා වැලිකඩට දැම්මට පස්සේ අපි දන්න මානව හිමිකම් එකේ වැඩ කරන මහත්‍තයෙක් හම්බෙන්න ගියා.ඒ මහත්තයා තමයි ජානක නීතීඥ මහත්තයට කථා කරලා ‍මේ සිද්ධිය කිව්වේ.හොරකම වෙනුවට මගේ ළමයා කුඩු තියාගත්තා කියලා චෝදනා කරලා. අපි දන්න කෙනෙක්ව හම්බෙන්න ගියා.එයා දෙහිවල පොලිස් ලොක්කෙක්ට කථා කරාලා ඇහුවා ඇයි මේ ළමයට කුඩු දැම්මේ කියලා. ළමයා උසාවියේදී කෑ ගහලා කිව්වා මගේ ළග කුඩු තිබ්බේ නෑ කියලා. මගේ ළමයා පොලිස්සියේ ඕ අයි සී මහත්තයට කියලා ලොකු වුණාම ඉගෙන ගෙන මං මේකට නීතීයෙන් පළිගන්නවා කියලා. ඒක ගැන පොලිස් නිලධාරීන් හිටියේ ලොකු තරහකින්. අපි පොලිස්සියට ගියාම අපිට අපහාස කරා මේ ළමයා ලොකු වෙලා ඩොක්ටර් කෙනෙක් වෙලා අපි බෙහෙත් ගන්න ගියොත් අපිට වැරදි  බෙහෙතක් විදීයි කියලා.වැලිකඩ ඉන්නකොට ළමයා දුක් විදලා ගොඩක්.අපේ ළමයාට මේ නිලධාරීන් කරේ මහා අපරාධයක්. මගේ ළමයා සිගරට් එකක් වත් කටේ තියන්නේ නෑ. අන්තිමට කරපු නැති වැරැද්දකට මගේ ළමයාට වුනේ හිරේ ලගින්න.හැම දවසක්ම වරද්දන්නේ නැතුව මං ළමයව බලන්න වැලිකඩට ගියා.එහෙම හැමදවසකම ගියේ මගේ ළමයා මානසිකව වැටෙන එක නතර කරන්න. ළමයා නිදහස් වෙලා ඇවිත් කිව්වේ වැලිකඩ බන්ධනාගාරය කියන්නේ පුදුම සමාජයක් කියලා. බන්ධනාගාරයෙන් දෙන තේකට සීනි එක්ක ලුණු දාලා දෙනවා කියලත් තිබුනා. අපි මේ සිද්ධිය කිසිම තැනකට කිව්වේ නෑ. ඒ අපිට කරදරයක් වෙයි කියලා. ළමයා දැන් පන්ති යන්නේ නෑ. පන්ති යන්න තරම් හොද මානසික තත්වයක නෙමේ ළමයා ඉන්නේ.
මලිත් විජේවර්ධන සිසුවාගේ පියා මලිත්ට සිදු වූ අසාධාරණය අපට කියූවේ එලෙසිනි. මෙම දෙමව්පියන් තම දරුවාට සිදු වූ කටුක සිද්ධිය නිසා බොහෝ වද වේදනා විද තිබේ.දෙහිවල පොලිස්සියේ මෙම සිදුවීමට අදාළ පොලිස් නිළධාරීන්ට ඔවුන්ගේ දරුවෙකුට මෙසේ සිදු වුවහොත් එම වේදනාව හා අසරණ කම දැනේවිදැයි ඇත්තේ සැකයකි. දරුවන් සිටිනා හා දරුවන්ගේ වටිනාකම දන්නා මිහිපිට කිසිවෙකුත් මෙවන් කෘර අපරාධයක් කිරීමට පෙ‍ළඹෙන්නේ නැත.
දෙහිවල පොලිස්ථානයේ පොලිස් සැරයන් 8230 අංකය යටතේ සේවය කරන මුතු බණ්ඩා,පොලිස් කොස්තාපල් 89388  අංකය යටතේ සේවය කරන ධනුෂ්ක,පොලිස් කොස්තාපල් 82503 අංකය යටතේ සේවය කරන කරුණාරත්න යන නිලධාරීන් විසින් දෙහිවල ගුවන් පාලම අසළදී මලිත් සිසුවාව සැකක‍ටයුතු පුද්ගලයෙකු පරික්ෂාකිරීම ය‍ටතේ අත්තඩංගුවට ගන්නා ලදී. එම පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයේ බැට්රිය යොදන කොටසේ පිටුපස ඉඩෙහි සේලෝපේන් කොළයක ඔතන ලද කුඩු වර්ගයක් තිබී පරික්ෂා කිරීමේදී එම ද්‍රව්‍ය නීති විරෝධී හෙරෙයින් බවට සොයා ගන්නා ලදී. පසුව හෙරොයින් ලග තබා ගත් වරදට අත්තඩංගුවට ගෙන ඇත. මෙය 1984 අංක 13 දරන විශ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනතේ 54(අ) යටතේ දඩුවම් ලැබිය හැකි
 මෙය මලිත් සිසුවාව රදවාගෙන විමර්ශනය කිරීමට ගල්කිස්ස උසාවියට දෙහිවල පොලිස්සිය විසින් ඉදිරිපත් කරන ලද රදවාගැනීමේ අවසර පත්‍රෙයන් උපුටා ගත්තකි. මේ සියල්ල පොලිස්සිය විසින් ගොතන ලද බොරු ප්‍රකාශය .පොලිස්සිය ක්‍රියා කර ඇත්තේ නීතිය සුරකින රටේ වගකිව යුතු නිලධාරීන් ලෙසින්දැයි ප්‍රශ්න කිරීමට කැමැත්තෙමි.වෙනත් පුද්ගලයෙකුට පැවරූ දිව්රුම් ප්‍රකාශයක් නිවැරිදි පුද්ගලයෙකුගේ නමට මාරු කිරීම අද ඊයේ පොලිස්සිය සිදු කළ ක්‍රියාවක් නොවන බව මෙම සිදුවීමෙන් පෙනේ. මලිත් මුහුණ දුන් මේ වේදනාකාරී භයංකර සිදුවීම ජීවිතය පුරා ඔහුගේ මතකයේ අදුරු සෙවනැල්ලක් මෙන් සටහන් වී තිබෙනු ඇත. ඒ මතකයන් අතර වැලිකඩ බන්ධනාගාරය තුලදී ඔහුට විදින්නට සිදුවූ අති වේදනාකාරී සිද්ධිද එකතු වී තිබෙනු ඇත. ඒ වන්දිය ගෙවන්නට රටේ නීතිය සුරැකීමට දිව්රුම් දී ඇති බලධාරීන් ගන්නා පියවර කුමැක්දැයි අප බලා සිටින්නෙමු.මේ රටේ වැරදි කළ පුද්ගලයින්ට නීතියේ ආරක්ෂාව ලැබී ඇති බවට උදාහරණ ඕනෑ තරම් අපට සොයා ගත හැකිය. මේ පිළිබදව කථා කරන්නට හෝ පියවර ගැනීමට තරම් ඍජු කෂේරුකාවක් ඇති බලධාරියෙකු සිටින්නේදැයි ගැටළුවකි. එසේ සිටියා නම් නීතිය මගින් සිදුකරන මෙවන් අපහරණ වලට නැවතීමක් ලැබෙන්නේ කලකට පෙරය.
ලංකාවේ පොදු ජනතාව නීතිය පිළිබදව දැනුවත් විය යුතුය. නිල ඇදුම් ඇද ගත් පමණින් එකී පුද්ගලයින්ට බිය විය යුතු නැත.පොදු ජනතාව වන අපගේ සහයට නීතිය ක්‍රියාත්මක වනු මිසක ‍මහජනයා අපහරණයට ළක් කිරීමට නීතියට අයිතියක් නැත. මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීම නීතීය අතට ගෙන හැසිරෙනා පුද්ගලයින්ට අයිතියක් නැත. නීතිය ප්‍රශ්න කිරීමට ඔබට අයිතිවාසිකම් ඇත. පොලිස් වද හිංසා විදගනිමින් පොලිස් රිමාන්ඩ්බාරයේ සහ වැලිකඩ බන්ධනාගා‍රයේ හිරබත් කෑ මලිත් විජේරත්න සිසුවා නඩුව අවසන් වන තුරුම නොකළ වරදක් පිළිගත්තේ නැත.ඔහු තම අයිතීන් වෙනුවෙන් සටන් කළේය. ආයුධ සමග සිසුවෙක් අත්තඩංගුවට පත් වූවායි සිරස්තල දමා පුවත් පළ කරනා මාධ්‍යට මෙයට වඩා සමාජය සහ මහජනතාව පිළිබදව වගකීමක් සහ ගරු කිරීමක් තිබිය යුතුය.

ඔබ පොලිස් අත්තඩංගුට පත් වූ විට නීතීඥයෙකුගේ සහය ලැබෙන තුරු කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීමට ඔබට අයිතියක් ඇත.
මානව අයිතිවාසිකම් බිහි වූයේ සමාජයේ මිනිසුන් ලෙස නිදහස්ව නැගී සිටීමේ ඇති අවශ්‍යතාවය මූලික කරගෙනය.
ඔබට හිමි වී ඇති මානව අයිතිවාසිකම් මත නොමනා ලෙසට සමාජයේ නීතිය හෝ වෙනත් බලවේගයක් විසින් ඔබව අපහරණයට ළක් කිරීමක් සිදු කරනවා නම් එයට සටන් වැදීමට ඔබට අයිතියක් ඇත. ඔබ ජීවත් වි යුත්තේ නීතිය හා තමන්ට හිමි වී ඇති මානව අයිතිවාසිකම් පිළිබදව මූලික අවබෝධයක් සමගය. එසේ නොමැති වුවහොත් ඔබ පමණක් නොව ඔබේ දරුවාද සමාජයේ නෙපහත්නම් වල ගොදුරක් විය හැකිය.
(නීති ආධාර කොමිෂන් සභාව ,අංක 129/5,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට  අමතා නීතිමය කරුණක් පිළිබදව විමසා දැනුවත් විය හැකිය. )

(2013-04-07 වන දින රන්දිව පුවත්පතෙහි පළ වූවකි.)

Monday, March 11, 2013

ඇරියස්





         

නිදහසේ ජීවත් වෙච්ච  මානවයින්ගේ නිදහස් හැසිරීම්  මර්දනයත් සමගම මානවයින් ශිෂ්ටාචාරගත වෙනවා. 2013 දැන් අපි ජීවත් වෙනවා සෑහෙන්න දියුණු වෙච්ච සමාජෙක ඉදන්. අපේ හැසිරීම් වලට නියමයන් තියනවා.දේශපාලනීකරණය වෙච්ච සම්බන්ධකම් වල රහක් හොයාගෙන ජීවිතේ දැනෙන්න ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා.ඉගෙන ගන්නවා ,රස්සාවක් කරනවා,සල්ලි හොයනවා,කසාද බදිනවා,ළමයි හදනවා වගේ ප්‍රධාන කොටස් වලට අපි අපේ ජීවිත බෙදාගන්නවා. අපිට ඕන කොහොම හරි අපි ප්ලෑන් කර ගත්ත කාල වකවානුවලදී මේ ටාර්ගට් වලට යන්න. කවුද අපිට කිව්වේ මෙහෙම කොටස් වලට ජීවිතේ බෙදාගන්න. ඒකට උත්තරයකට වඩා දෙයක් තියනවා. මම හිතන්නේ ඒකේ සාර්ථක උත්තරය වෙන්න ඕන ඇබ්බැහිය කියලා.අපි ඇබ්බැහි වෙලා ජීවිතේ සීමාවන් නියමයන් ඇතුලේ ජීවත් වෙන්න.ලංකාවේ අපි කෑම හදන විදියක් තියනවා. කටට සැරට මිරිස් කෑවා කියලා ඒක ආසියාතික මිනිස්සුන්ගේ දිවවල් වලට නුහුරු වෙන්නේ නෑ. එහෙම නොවෙන්නේ අපේ දිවේ සංවේදීතාවය හැඩ ගැහිලා තියනවා හොදට මිරිස් පහේ දාපු කෑම කන්න. ඒක ඇබ්බැහිය. ඒ වගේම අපි ඇබ්බැහි වෙලා ඉන්නවා අපේ මහ උන් උන්ගේ ජීවිතේ ජීවත් වුන නියමයන් වලට අපේ ජීවිතේ ජීවත් වෙන්න.ඇත්තටම හිතුවොත් අපි ජීවත් වෙන්නේ අපේ යටි හිතට ඕන විදියට නෙමේ. අපි මතුපිටින් හිනාවෙලා යන්ත්‍ර වගේ ජීවත් වෙන ඒත් ඇතුලාන්තයෙන් මහා ඇරියස් ගොන්නක් හිර කරන් ඉන්න උන්.  යටි හිතෙන් ගොඩක් උන් මේ සමාජ සිස්ටම් එකත් එක්ක වෛරෙන් හිටියත් උන් ඒ ගැන කථා කරන්න බයයි. එහෙමත් නැත්තන් 20%ක් හරි තමන්ට කැමති විදියට ජීවත් වෙන්න තීරණයක් ගන්න බයයි.ඒ බහුතරයම අවස්ථාවක් හම්බුනොත් උන්ගේ හිත ඇතුලේ තියන පීඩාව එළියට මුදා හරිනවා. සමාජේ දියුණු වෙන්න වෙන්න ඉතිරි වෙන්නේ ඉබාගාතේ යන පීඩිත සත්ත්ව කොටසක් විතරයි.

මිනිස්සු උන්ට අහිමි වෙලා ගිය හීන වෙන උන් හැබෑ කර ගන්නකොට ඒවා ඉස්සරහා වෛරක්කාරයෝ බවට පත් වෙනවා.තමන්ට නැති අනිත් උන්ට තියන දේවල් ඉස්සරහා කුහකයෝ බවට පත් වෙනවා.ඒ වගේම සමාජෙන් තලලා හිර කරලා දාන නිදහස් හැසිරීම් ඉදිරියේ ඇරියස් කවර් කරගන්න දගලන පීඩිතයෝ බවට පත් වෙනවා. 


       එළිපිට විවෘතව ගෑනු මිනිස්සු ආශ්‍රය කරන තමන්ගේ ලිංගික අවශ්‍යතා නිදහසේ ඉටු කරගන්න මිනිස්සුන්ව විවේචනය කරන්නේ සංස්කෘතිය සභ්‍යත්වය ඉදිරියේ තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගන්නේ නැතුව බයෙන් ජීවත් වෙන උන්. උන්ගේ ඇරියස් උන් පිට කරගන්නේ අනිත් උන්ගේ නිදහස් හැසිරීම් මහා නොසන්ඩාල විදියට විවේචනය කරලා. මං බඩු කාරයෙක් කියලා නිතරම උදම් අනන්නේ  ලිංගික අසහනයෙන් පෙළෙන ඒ අවශ්‍යතා ඉටු කරගන්න බැරුව පීඩිත වෙලා ඉන්න උන්. උන්ගේ පීඩිතකම යටපත් කරගෙන ෆැන්ටසියක ඉදන් උන් ඒ ෆැන්ටසිය සැබෑවක් බව පිටතට මවා පානවා.

නිරන්තරයෙන් තමන්ට සල්ලි තියන තමන් රට රටවල් වල සංචාරය කරන කෙනෙක් කියලා කියන්න පුරුදු වෙච්ච ගෑනු මනුස්සයෙක් හිටියා. හම්බෙන හැම ඉඩක්ම මේ ගෑනු මනුස්සයා යොදාගත්තේ තමන්ගේ රට ඉන්න පුත්තු ගැන කියන්නයි තමන්ගේ මනුස්සයා හම්බකරන සල්ලි කන්දරාව ගැන කියන්නයි. ඒ වගේම මිනිස්සුන්ගේ පුද්ගලික කාරණා වෙච්චි බැංකු ගිණුම් වගේ කාරණා ගැන මේ මනුස්සයා එළිපිටම කථා කරා. හැමෝම කිව්වේ මේ ගෑනු මනුස්සයා නයා අරිනවා කියලා. ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ? මට හොයාගන්න පුළුවන් උන එකම පිළිතුර වුනේ මේ ගෑනු මනුස්සයා ජීවත්‍ වෙන්නේ මහා පීඩාවකින් කියලා. ඒකේ වැරැද්දක් නෑ .ඒක හරිම ස්වාභාවික හැසිරීමක්.රත්තරං බිත්තර දාන කිකිළියෙක්ව අපිට හම්බ වුනොත් අපි ඒ කිකිළිගෙන් බිත්තර අරගෙන පොහොසත් වෙලා විතරක් නතර වෙයිද? අපිට ඕන වෙනවා මේ ගැන කාටම හරි කියන්න.එහෙම කියලා සියුම් ආහ්ලාදයක් ලබන්න. නැත්තං ඒ රත්තරං බිත්තර දාන කිකිළිව හම්බෙච්ච එකේ කිසිම සතුටක් නැතුව යනවා.ජීවිතේට සල්ලි විතරක් හම්බෙලා මදී. අපිට අපේ හිමි වීමි අහිමි වීම් ගැන බෙදාගන්න කවුරුන් හරි අවශ්‍ය වෙනවා.

       ඇයි අපි ලියන්නේ? හේතු ගොඩක් වෙන්න පුඵවන්. එකක් රස්සාවට අනිත් කාරණය තමන්ගේ අදහස් අනිත් උන් එක්ක බෙදා ගන්න. අනිත් එක තනි වෙන්න තියන බයට. අනිත් එක තමන්ට අනුගාමික පිරිසක් ගොඩනගා ගන්න. එහෙමත් නැත්තං මොකක් හෝ දෙයක් එක්ක තියන ඇරියස් එක පිටකරගන්න. බහුතරයකගේ ලියමනවල් දිහා බැලුවොත් වැඩියෙන්ම ඒවා අයිති වෙන්නේ ඇරියස් එක පිට කරගන්න ලියනවා කියන එක. ඒක විවේචනය කරන්න ඕන දෙයක් නෙමේ. හැගීම් ගල් වෙච්ච සම්බන්ධකම් මැද්දේ අපි හැමෝම ජීවත් වෙන්නේ. අපි හැසිරෙන්නේ ජීවත් වෙන්නේ නියමයන් ගොඩක් මැද්දේ? අපිට දෙයක් තියනකොට තවත් දෙයක් නැති වෙනවා. ඒක ස්වාභාවධර්මය කියලා අපිට හිත හදාගන්න බැරි අපි පෘථග්ජනයෝ නිසා. ඉතිං අපි කරන්නේ සර්වයිව් වෙනවා යටි හිතේ ඇරියස් ගොඩක් හංගගෙන. අපේ යටි හිත අපිත් එක්ක ඉන්නේ “දෙන්නං තොට ’’කියලා. ඉඩක් හම්බුන ගමන් යටි හිතේ තෙරපිලා තියන පීඩිත හැගීම් එළියට ගලා ගෙන යනවා. 
      අපි හැමොම මහා පීඩිත සත්තව කොටසක් කියන ඇත්ත තේරුම් ගන්න තරම් උගත් බවක් තිබුනොත් සර්ව සම්පූර්ණ මිනිස්සු වගේ මවා පාන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපි හැම එකාම බලන් ඉන්නේ අපේ ඇරියස් එක කොතනින් හරි පිට කරගන්න කියන එක එළිපිට පිළිගන්න ලැජ්ජ වෙන්න ඕන නෑ. අපි ‍හැමෝම මිනිස්සු. නිකම් මිනිස්සු නෙමේ කප්පාදු කරපු මිනිස්සු.

Friday, March 8, 2013

Love  නැමැති මාගේ කෙටි කථාව මීට පෙර කලකදී මඅතින් ලියවුනු කෙටි කථාවකි. එය මාගේ ස්වාධීන නිර්මාණයක් විනා බ්ලොග් ලෝකයේ වෙනත් කිසිදු ගැටළුවක් හෝ ඇවිළී යන කිසිදු කතන්දරයක් මූලික කරගෙන නොලියූවකි.ස්වාධීන නිර්මාණයක‍ වැඩිපුර කතා බස් වන පුද්ගලයකුගේ නම තිබූ පමණින්ම එය එම පුද්ගලයා විසින් තමන්ට කළ අපහාසයක් හෝ තමන් වෙනුවෙන් ලියන ලද කෙටි කථාවක් යැයි සිතන්නේ නම් එකී නම සදහන් වන සියළුම ලියමන්වල් ලියවී ඇත්තේ එම පුද්ගලයාට එරෙහිවය. මාගේ කෙටි කථාවන් කිසිදු පුද්ගලයෙකුට මඩක් ගැසීමේ අභිමාර්තයෙන් ලිවීමට තරම් මාගේ රසවින්දනය හෝ මාගේ ලියමන පහත් නෙවේ.නිර්මාණ රසය හා මඩ රසය යනු දෙකකි. කලකට ඉහතදී ලියවුනු කෙටි කථාවක් වන එහි චරිතයේ නම කෙටි කථාවට විනා වෙනත් කිසිදු හේතුවක් නිසා යොදා නොගත්තද ස්වාධීන නිර්මාණයක තම නම ගෑවී ඇති පමණින්ම එය තමන්ට කර ඇති අපහාසයක් යැයි සිතන පුද්ගලයින්ට මාගේ කණගාටුව. බ්ලොග් ලෝකයේ සිදුවනා නොයෙක් හිස් තැන් අතරට වැදී ඒවා සමග සම්බන්ධ වී නිර්මාණයන් ඔස්සේ එවාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තරම් මා ජීවිතයේ බංකොළොත් වී නොමැත. බ්ලොග් යනු ජීවිතය යැයි තවමත් සිතන් ඉන්නා පුද්ගලයින්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙහි පළ වන මාගේ සියළුම නිර්මාණ ස්වාධීන වන අතර ඒවායෙහි කිසිදු සත්‍ය අසත්‍ය බාවයක්ද නොමැති අතරම එම නිර්මාණ තමන්ගේ පුද්ගලික ගැටළු අතරට භාවිතා නොකරන ලෙසයි.


Tuesday, March 5, 2013

Love








“මම ඇයට පෙම් කරන්නෙමි ’’
සුදුම සුදු පාට ටිෂූ කොළයේ කැත අකුරින් ලියූ මා එදෙස බලා සිටියෙමි.

ඒ ටිෂූ කොළය අත් මිටෙහි ගුලි කරගෙන හිදන් උන් පුටුවෙන් නැගිට ගත් මා මහ පාරට ඇවිද ආයේ තේරුමක් නැතුව ඔහේ ඇවිද යාමටය.ඇය මගේ හිත හීනියට රිදවමින් සිටියි. ඒ රිදවීම පරයා දිනෙන් දින ඇය පිළිබදව ප්‍රේමයක් මගේ හිත පුරා දළු දා වැඩෙයි.ඒ ප්‍රේමයට මා සිනාසුනෙමි. 
වාහනයක් සද්දෙට හෝන් එකක් ගසා මා පසු කර ගියේය.
කෝටියක් වටින වාහනයක් මාව යට කරන් යනවා අඩුමතරමේ වටිනකමක් තියෙන මිනිහෙක් විදියම මට මැරිලා යන්න පුළුවන්. හැම එකාම කථා කරයි මගේ මරණේ ගැන “ ඌ හැප්පුනේ කෝටියක් වටින පට්ට සිරා වාහ‍නයක” කියලා.
“ ඔය තරං බොළද වෙන්න එපා මෝඩයෝ ” ළග සිටියා නං සිනාසී ඇය එසේ කියනු ඇත.
ඇයව මතක් කර විදවනා විදිනා සෑම විනාඩියකම මදාරා  හිත මැද්දට පැමිණ මට විරිත්තා යයි. 
“ ඔයා මහ නෝන්ජල් පිරිමියෙක් . ගෑනියෙක් ආස වෙන්නේ පිරිමියෙක් වගේ පිරිමියෙක්ට මිසක් ගෑනියෙක් වගේ පිරිමියෙක්ට නෙමේ. ’’
මදාරා එසේ කීවා මතකය. ඇයට පෙරළා පිළිතුරු දීමට නොහැකිව හිස බදාගෙන ඇඩුවාද මතකය. ඇය ඉදිරියේ මදාරාව මා සිතින් මරා දැමුවේ දෙතුන් වරක් නොවේ. 
“ ඔයාට බැරිද මට ආදරේ කරන්න” 
මා එසේ අසා ඇගේ දෙඇස් දෙස බලා සිටි‍යෙමි. කොතෙක් වේලා එසේ බලා සිටියාදැයි කියන්නට මට මතක නැත. එහෙත් එතැන උත්තරයක දුරක් තිබුණි. ඇය මට දුරින් ඉදගෙන සිටියද ඇගේ හදවතේ කෙදිරිය මට ඇසුනි
“ මං ආසයි ඔයාව ඉඹින්න” එසේ මා ඇයට දැන් දැන් කියාවියැයි බිය වී ඒ වදන් සිත තුලම සගවා ගතිමි.
“ මට ‍ජෙම්මා වෙන්න පුළුවන් උනාට කවදාවත් ඔයාට ආතර් වෙන්න බෑ” එසේ කියූ ඇය යන්නට ගියාය.

ඇවිදින පාරක් පාරක් ගානේ ඇය මා ඉදිරියෙන් සිටිතැයි මට සිතේ. මාව කළඹවමින් සිටිනා ඇගේ දීප්තිමත් දෙඇස් අතර‍ට ළං වී ඇයව සිප වැළදගන්නට මට ඕනෑය.

මා ඇයව සොයා යන්නෙමි. ඇය ආදරය කරන තෙක් බලා සිටින්නට මට පුළුවන.ඉදහිට ඇය සෙමෙන් මුමුණනා ගීතයකට තාලය වන්නට පුළුවන. මගේ දෙඅත් හිරි වැටී නොදැනී යන තුරු ඇගේ අත අල්ලා ඇවිද යාමට මම කැමතිය. මම ඇය සොයා යමි. 
ඇත්තටම මං දැන් නිකම්ම නිකං මිනිහෙක් නෙමේ.ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න මිනිහෙක්.....
මදාරා.. ඔයා නං නක්කලේට හිනාවෙයි.ඒත් ඇත්තම ඇත්ත ඒකයි.